Tuesday, October 23, 2012

පසු වදන...

දුර්ලභ ගණයේ වනසත්ව හා වෘක්ෂලතා සම්පතින්ද රටට ආවේනික හා සුවිශ්ෂි වූ පරිසර පද්ධතියකින්ද පාරිසරික ලක්ෂණයන්ගෙන්ද ගහණය වූ රක්ෂිතකරණය කර පවන්තාවු වනභුමි කිහිපයකටම අප සාඩම්බර උරුමකරුවන් වන්නෙමු.

 මෙකී රකිෂිත වනාන්තර තුල නිසි අවසරයන්ට හා නීතියට අනුකූල හා පටහැනි නොවන පරිදි බිම් කදවුරු ලෑමේ ඉඩකඩ පවතින බව අප කවුරුත් දනිමු. එකී බිම් කදවුරු යාල වැනි රක්ෂිත භූමියක් තුල ස්ථීර ගොඩනැගිලි දක්වා සංවර්ධනය කර ඇති බවත් එකී සංවර්ධනයන් සදහා කැබිනට් තීරණයක් හෝ නොපවතින බවද නිසි කාර්ය පටිපාටිය හා නීතියෙන්ද පරිබාහිරව සමාගම් තුනක් විසින් ස්ථිර ගොඩනැගිලි දක්වා බිම් කදවුරු පුලුල් කර ඇති බවද වනඡීවි දෙපාර්තමේන්තුව මෙන්ම පරිසර හිතකාමීන්ද 2008 වර්ෂයේ සිටම අවබෝධයෙන් හා දැනීමෙන් පසු වී ඒ පිළිබදව කතිකාවතක් ගොඩනගන්නට උත්සාහ කරන්නට විය.

බිමි මට්ටමේ සිට මධ්‍යම දේශපාලන කරලිය දක්වා සියලු බලධාරීන්ගේ බල හා මුදල් අරගලයට මැදිවී දෝලනය වෙමින් පැවති මෙකී ගැටලුව පිළිබදව හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වූ කරුණු අනුව 2012.10.19 දින අතිගරු ඡනාධිපතිතුමා මැදිහත් වීමෙන් වහාම එකී අනවසර ඉදිකරීම් සමග සමාගම් ඉවත් කිරීමට බලධාරීන්ට කරන ලද නියෝගයට පරිසරයට ආදරය කරන අපි සියල්ල හිස නමා අචාර කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ සමස්ථ වනසත්ව හා වෘක්ෂලතා ප්‍රඡාව ආරක්ෂා කිරීමට දැනට ලකාවේ වලංගුව පවතින්නාවූ 2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂණ (සංශෝධන ) පනත දෙස අවධානය යොමු කිරීමේ දී එකී පනතේ 6 (2) වගන්තිය ප්‍රකාරව ඡාතික රක්ෂිත භූමියක මායිමේ ඕනෑම සංලක්ෂයක සිට මායිමට ලම්භකව සැතපුම් එකක සෘඡු දුරක් දක්වා වන කලාපය තුල පිහිටා ඇත්තාවූ සංචාරක හෝටල් පුලුල් කිරීම ආරම්භ කිරීම හෝ ආරම්භ කිරීමට සැලැස්වීම සිදු නොකල යුතු බවට සදහන් වන්නේය.

එසේම එම පනතේ 14 (9) (අ) වගන්තිය තුලදී ඡාතික රක්ෂිත භූමියක මායිමේ ඕනෑම සංකලක්ෂයක සිට මායිමට ලමිබකව සැතපුම් 1 ක් දුරින් පෞද්ගලික / රජයේ හෝ තැනැත්තකුගේ හෝ සංවිධානයක් විසින් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ පුර්ව අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ සංවර්ධන ක්‍රියාකාරකමක් නෙකල යුතු බවට නීතිය දක්වන්නේය. එසේම මෙම විධිවිධාන පැහැර හරින යම් තැනැත්තෙක් වීද හෙතෙම වරදකට වරදකරු වන බවද සඳහන් වේ.

එපමණක් නොව 14 (2) (1) උපවගන්තියෙහි සඳහන් නෛතිකමය ප්‍රතිපාදනය තුලදි වෙළදාම/ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවසර පත්‍රයක් සඳහා වන ඉල්ලීමක් ලද විටක එකී පරිසරයට අදාල වන්නාවු මුලික පාරිසරික සමීක්ෂණ වාර්තාවක් ඉල්ලුම්කරු වෙතින් ලබාගත යුතු බවට සඳහන් වන්නේය. ඒ අනුව බලපත්‍ර නිකුත් කිරිම නිසි ක්‍රියා පටිපාටිය තුලදි සිදුවිය යුතු බවට නීතියේ පැහැදිලිව අවධාරණය කර ඇත.

එසේම එවන් නීතිමය රාමුවක් තුලදී බිම් කදවුරු අනවසර ඉදිකිරීම දක්වා සංවර්ධනය වී ප්‍රචලිත වනතුරුත් වනඡීවී නිලධාරීන් ඇස් කන් වසාගෙ සිට බව මේ වන විට මුලු රටටම අනාවරණය වී හමාරය. එබැවින් ඉහත කී නිති රීති ප්‍රකාරව රක්ෂිත භුමියක් අභ්‍යන්තරයෙහි තබා රක්ෂිත සීමාවේ සිට සැතපුමක දුරක පාරිසරික පරාසය තුලද සිදුකරන්නා වු ඉදිකිරිමක් හෝ ව්‍යාපාරයක් පිළිබඳව අනුගමනය කල යුතු පැහැදිලි ක්‍රියා පටිපාටිය නීතියෙන් පිළිගෙන ඇති අවධියක බිම් කදවුරු මුවාවෙන් සිදු වී ඇති සැගවී යන යථාර්ථවාදී ව්‍යාපාරයන් හෝ කර්මාන්තයන් (eco tourism, safari etc) පිළිබදව වැඩිදුරටත් කරණු අනාවරණය කරගත යුතු වේ.

එසේම රක්ෂිත භූමිය හා එහි සිමාවේ සිට අවට පරිසරය ද කෙතරම් පරසර පද්ධතියකට වැදගත් වන්නේද යත් එකී සමාගම් තුන සදහා රිසිසේ කටයුතු කරන්නට ඉඩකඩ සලසා දුන් සියලුම බලධාරී පිරිස් ද යාල පරිසරයට වූ විනාශයේ වරදට සමාන වගකීමක් දැරිය යුතු බව අපගේ හැගීමය. යාල අභය භූමියට හා පරිසරයට මේ වන විට උද්ගත වී ඇති හානියට මිලක් නියම කල නොහැකි වන නමුත් එකී අගතිය හා විනාශය නැවත ඇති නොවීමට හා නීතියේ ආධිපත්‍යය හා ස්වාධිනත්වය ස්ඵූට කිරීම සදහා ද විදේශ ලාභ ලැබූ ආයතනයන්ට උඩගෙඩි දුන් සියල්ල ද නීතිය ඉදිරියට කැදවීම අත්‍යාවශ්‍ය බව අප මෙහිදී වැඩිදුරටත් තරයේ අවධාරණය කර සිටින්නෙමු.