උඩවලව හා හබරණ ප්‍රදේශවලින් අල්ලා ගත් අලි පැටවුන් 22 දෙනෙකු නීති විරෝධී ලෙස විවිධ
ව්‍යාපාරිකයින් භාරයේ, දේවාලවල හා විහාරස්ථානවල තබාගෙන සිටී. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මෑත ඉතිහාසය තුළ පළමුව අලි පැටවකු අල්ලාගනු ලැබුවේ හබරණ ප්‍රදේශයෙනි. රත්නපුරයේ, බී.බී. ජයසේකර මහතා ගේ උපදෙස් මත 2002 වසරේ දී මේ අලි පැටවා අල්ලා ගනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍යවරයකු ගේ මගපෙන්වීම යටතේ ය. හබරණ වනාන්තරයෙන් අල්ලාගත් මේ අලි පැටවා හබරණ ආශ්‍රිත මිරිස් හේනක රඳවා තබා ගෙන සිට පසුව රත්නපුරයට රැගෙනවිත් තිබේ. වාසනා නමින් හඳුන්වන මෙම අලියා බී.බී. ජයසේකර මහතා භාරයේ සිටී.
මේ අයුරින් ආරම්භ වූ අලි පැටවුන් ඇල්ලීමේ ජාවාරම පසුගිය දා අවසන් වූයේ උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු අල්ලා ගැනීමත් සමඟිනි. සුදු මහතා නමින් හඳුන්වන බියගම, මෙල්වා දඟර වානේ කම්බි කර්මාන්තශාලාවේ හිමිකරු ගේ උපදෙස් මත පසුගියදා මේ අලි පැටවා අල්ලාගත් අතර දැනට ඔහු භාරයේ මේ අලි පැටවා සිටී.
දැනට වැඩිම අලි පැටවුන් ප්‍රමාණයක් අල්ලා ගෙන තම භාරයේ තබාගෙන සිටින්නේ මහරගම, ඇරැව්වල, එස්.ආර්. කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයේ හිමිකරු වන නිරාජ් රොෂාන් පතිරණ මහතා විසිනි. මොහු ගේ උපදෙස් මත උඩවලවෙන් පළමු අලි පැටවා අල්ලා ගනු ලැබුවේ 2007 වසරේ දී ය. එම අලි පැටවා සිඟිති නමින් හඳුන්වයි. මීට අමතරව සුද්දි, සමාධි, සංඛ, සකුරා හා සංජු නමින් උඩවලවෙන් හා හබරණින් අල්ලා ගන්නා ලද අලි පැටවුන් 6 ක් මොහු භාරයේ සිටී. නමුත් ඉන් සංජු නමින් හඳුන්වන අලි පැටවා මතුගම, ජගත් විතාන මහතාට එක්කෝටි විසිපන් ලක්ෂයකට විකුණා තිබේ. ඉන්පසුව මේ අලි පැටවාව ඛෙන්තොට බීච් හෝටලයේ ප්‍රදර්ශනයට තබා තිබූ අතර සංචාරකයන් ගේ බලපෑම මත මේ සතාව එම හෝටලයෙන් ඉවත් කරන ලදි.
සමාධි නමින් හඳුන්වන අලි පැටවා පොල්හේන්ගොඩ, ඇලන් මැතිනියාරාමයේ සිටින අතර සුද්දි ලෙස හඳුන්වන අලි පැටවා බණ්ඩාරගම, වරුණ කන්නංගර මහතා භාරයේ සිටී. මීට අමතරව සකුරා ලෙස හඳුන්වන අලි පැටවා මහේස්ත්‍රාත්වරයකු වන නීලම්මහර, කොහිලකොටුවේ පදිංචි තිළිණ සලෝචන ගමගේ මහතාට ලබාදී තිබේ. මේ සියලූම අලි පැටවුන් නීති විරෝධී ලෙස තබාගෙන සිටින අතර මේ සතුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරයකු විසිනි.
හීලෑ අලි - ඇතුන් ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා භාරයේ ද හබරණින් අල්ලන ලද අලි පැටවකු සිටී. මාවනැල්ල, අලූත් නුවර, දැඩිමුණ්ඩ දේවාලයේ භාරකරුවා වන මොහු එම දේවාලයට පින්නවල අලි අනාථාගාරයෙන් ලබා දෙන ලද සෙනරත් නම් අලි පැටවාව තෝරා ගැනීම සිදු කළේය.මෙම දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්කේ මහතා භාරයේ ද හබරණින් අල්ලන ලද අලි පැටවකු සිටී. සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති හීලෑ අලි ඇතුන් ගේ සංගමයේ නිලතල හොබවමින් නීති විරෝධී ලෙස අලි පැටවුන් තබාගෙන සිටිමින් මේ පුද්ගලයින් සමාජයට ලබා දෙන වැරදි පූර්වාදර්ශය පිළිබඳ ව අප කණගාටු වෙමු.
උඩවලව හා හබරණ ප්‍රදේශයේ සිදු කෙරෙන අලි පැටවුන් ඇල්ලීමේ ජාවාරම වස්ගමුව ප්‍රදේශයට ද ව්‍යාප්ත කිරීම සඳහා හීලෑ අලි - ඇතුන් ගේ සංගමය මගින් මේ වන විට සැලැසුම් කර තිබේ. ඒ සඳහා පළමු පියවර ලෙස වස්ගමුවේ අලි විනාශ කළ ගෙයක් හිමි පුද්ගලයකුට මේ සංගමය මගින් ගෙයක් සාදා පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරින. ඒ සඳහා බියගම සුදුමහතා, නිරාජ් රොෂාන් පතිරණ මහතා, තිළිණ සලෝචන ගමගේ මහතා ඇතුළුව හීලෑ අලි - ඇතුන් ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා ද සහභාගී විය. එහි දී පවත්වන ලද දේශනවල දී අවධාරණය වූයේ වස්ගමුවෙන් ද අලි පැටවුන් ඇල්ලීමට මේ හරහා උත්සාහයක නිරත වන බවකි.
මීට ප්‍රථම අවස්ථා ගණනාවක දීම කැලයෙන් අල්ලන ලද අලි පැටවුන් විවිධ පුද්ගලයන් භාරයේ සිටිය ද නිසි පරිදි රැකබලා නොගැනීම නිසා එම සතුන් මිය ගොස් තිබේ. බලංගොඩ, රිචඩ් ගෝනකුඹුර මහතා භාරයේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි කුඩා අලි පැටවකු 2009.08.08 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නා ලදි. උඩවලව, කල්තොට ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද මෙම අලි පැටවා එම මහතා ගේ නිවසේ නාන කාමරයක රඳවා තබා ගෙන සිට ඇති අතර නිසි පරිදි පෝෂණය නොකිරීම හේතුවෙන් මේ අලි පැටවා 2009.08.21 දින මිය ගියේ ය. මේ සතා මිය යාමට හේතු වූයේ මන්දපෝෂණයෙන් පෙලීමය.
2000 වසරේ දී පමණ නිලංග දෑල මහතා ගේ උපදෙස් මත උඩවලවට, සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වාසනා නම් ඇත් පැටවා 2005 වසරේ දී පමණ මිය ගියේ නිසි පරිදි රැකබලා නොගැනීම නිසා ය. රත්නපුරයේ දෑල ඔයේ මේ පැටවාව ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් පසුව මේ සතා ජලයේ ගිලී මිය ගියේ ය.
2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 23(1) වගන්තියට අනුව අලියකු හෝ ඇතෙකු බලපත්‍රයක් රහිතව ළඟ තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් ක්‍රියාවකට අධිකරණයෙන් වැරදිකරුවකු කරනු ලැබූ අවස්ථාවක දී රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර 10 කට නොඅඩු වසර 20 කට නොවැඩි බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් අලි පැටවුන් 22 ක් දැනට නීති විරෝධී ලෙස තබාගෙන සිටිය ද එම නීති විරෝධී ක්‍රියාවන් පිටු දැකීමට කිසි ආකාරයක අත් අඩංගුවට ගැනීමක් මේ වනතුරුත් සිදු කර නොමැති වීම කණගාටුවට කරුණකි.
මේ සියලූම අලි පැටවුන් ඇල්ලීමේ සැලසුම්වලට හා එසේ අල්ලාගත් අලි පැටවුන්ට බලපත්‍ර සැකසීමේ ක්‍රියාමාර්ගවලට පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙකු, දේශපාලකයින් කිහිප දෙනෙකු හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරියකු හවුල් වන බවට තහවුරු වී තිබේ.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් අප රටේ අලි - ඇත් පරපුර ඉතාම නුදුරු දිනක දී වැනසී යනු ඇත. අලි - මිනිස් ගැටුමින් වසරකට මේ වන විට අලි - ඇතුන් 250 ක් පමණ මිය යන තත්ත්වයක් තුළ ඉදිරි පරම්පරාවක් බිහි කිරීමට සිටින අලි පැටවුන් මෙලෙස අල්ලා හීලෑ කිරීමෙන් සිදු වන්නේ විශාල හානියකි. නීතිය පිළිබඳ ව දන්නා පුද්ගලයින් පමණක් නොව පශ= වෛද්‍යවරුන් පවා මේ හානිකර ක්‍රියාවට උදව් උපකාර කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ට අප රටේ වනජීවී සම්පත පිළිබඳ ව හෝ රටේ අනාගත ජෛව සම්පත්වල පැවැත්ම පිළිබඳ ව අබමල් රේණුවක හෝ ආදරයක් නොමැති බව ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම හෝ අලි - ඇතුන් හරහා තම බලපරාක්‍රමය අනෙක් අයට පෙන්වීම පමණකි.
අද වන විට වනාන්තරයෙන් අලි පැටවුන් ඇල්ලීම ජාවාරමක් තත්ත්වයට පත්ව ඇත්තේ වනජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ නොහැකියාව, දේශපාලන හා ව්‍යාපාරික බලය ඉදිරියේ නිවටයින් ලෙස කටයුතු කිරීම නිසාවෙනි. අනාගත පරපුරේ ජෛව සම්පත් ආරක්ෂා කිරීමට සිටින ආයතනයක් මෙලෙස කටයුතු කිරීමෙන් සිදු වන්නේ අනාගතයේ අප රට ආගාධයට යෑමකි.
අලි - ඇතුන් පරිසරයේ තුළිතතාව ආරක්ෂා කිරීම පමණක් නොව අප රටේ ආර්ථීකයට කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් එක් කිරීමට දායකවනවා ද යන්න පිළිබඳ ව බොහෝ දෙනෙක් නොසිතති. අප රටක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අති විශාල වෙහෙසක් දරමින් සිටින අතරතුර සංචාරක ආකර්ශනයට වැඩිපුර ලක් වන අලි - ඇතුන් මෙලෙස විනාශ කර දමා ගැනීමෙන් සිදු වන්නේ අනාගතයේ දී සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය නොව අගාධයට ඇද දමා ගැනීමකි.
මේ නිසා අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්න් අප රටේ අලි - ඇතුන් ගේ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අලි පැටවුන් ජාවාරම නතර කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනට ඉතිරි වී ඇති අලි - ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කොට රටේ ඉදිරි නූපන් පරපුරේ ජෛව සම්පත්වල පැවැත්ම තහවුරු කරන ලෙසත් ය.
සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය