Wednesday, September 21, 2011

සොරගුණේ වනාන්තරයෙන් අක්කර 600ක් ගෝල්ෆ් ව්‍යාපෘතියකට

බදුල්ල, සොරගුණේ ප්‍රදේශයේ වනාන්තර ඉඩම් අක්කර 628ක් ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් ඇතුළු හෝටල් ව්‍යාපෘතියකට පවරා දී ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
රුපියල් මිලියන 6ක පමණ මුදලකට ඇල්ෆා ඇන්ඩ් ඔමෙගා නැමැති සමාගමකට මෙම ඉඩම් පවරා දී ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.


බෙරගල ගොල්ෆ් රිසෝට් නැමැති හෝටල් ව්‍යාපෘතියට සහ ගෝල්ෆ් ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා කොළඹ 07, ධර්මපාල මාවතෙහි අංක 65 දරණ ස්ථානයේ පිහිටි බැව් පැවසෙන ඇල්ෆා ඇන්ඩ් ඔමෙගා නැමැති සමාගමකට මෙම ඉඩම් පවරා දී තිබේ. එම සමාගම අයත් ඇමරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තෙකුට මේ වන ඉඩම් ප්‍රදේශ අලෙවි කර තිබේ.

මෙලෙස පවරා දී ඇත්තේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත්ව තිබූ ඉඩම් ප්‍රමාණයක් වන අතර මෙම වනාන්තර ප්‍රදේශය වේලිඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයද බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ගොවි පවුල් දහස් ගණනක් සිය ජීවිකාව සළසා ගන්නේ වේලි ඔය ව්‍යාපාරය ඇසුරෙන් බවත් රජය විසින් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනැගූ වේලි ඔය අමුණ ව්‍යාපෘතියද මේ හේතුවෙන් විනාශ වී යාමේ තර්ජනයක් උද්ගතව ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.


වේලි ඔය ව්‍යාපෘතිය යටතේ ගොඩ ඉඩම් අක්කර හාරදහසක්ද, මඩ ඉඩම් අක්කර හාරදහසක් පමණද වගා කරන බව පෙන්වා දෙන එම සංවිධානය පවසන්නේ කාල්කන් ඔය, දෙමට ආර, සහ පතහඔය නම් වේලිඔය ව්‍යාපාර‍යේ ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම වනාන්තරය බවයි. එමෙන්ම මේ හේතුවෙන් අවට ගම්මාන 35ක පමණ ජනතාවගේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික ජීවන රටාවන් සම්පූර්ණයෙන්ම අවධානමට ලක්කර ඇතැයිද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම උඩවලව-බෝගහපට්ටිය හරහා වැටී ඇති අලි මංකඩ වැටී ඇත්තේ මෙම වනතීරුව හරහා වන අතර එම ප්‍රදේශ විනාශ වීමෙන් අලි මිනිස් ගැටුම උග්‍රවිය හැකි බවද ප්‍රදේශවාසීහූ පෙන්වා දෙති.

1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත යටතේ යම් පූජනීය ස්ථානයක් සතු ඉඩම් වලින් එම පූජනීය ස්ථානවලට අදාල නිල පංගුව ඉ‍ටු නොවන්නේ නම් පමණක් පමණක් එම ඉඩම් පවරා දිය හැකි නමුදු ප්‍රදේශවාසීන් විසින් මෙම දේවාලයට අදාලව අනූ නව වැදෑරුම් රාජකාරි ඉටුකරමින් සිටියදී ද එම වැසියන් මහමඟට ඇද දමමින් දේවාලයේ බස්නායක නිලමේ වන රවීන්ද්‍ර කළුපහන නැමැත්තෙකු විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මැදිහත් වී ඇතැයි ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

මෙම සොරගුණේ වනාන්තරය තුළ ඇති අරළු, බුළු, නෙල්ලි, බුරුත, කහට, ගම්මාලු වැනි වටිනා ශාක මෙන්ම මෙම ප්‍රදේශයට පමණක් ආවේණික ඌව මැන්ඩෙරා වැනි දුර්ලභ ශාක විශේෂ රාශියකද පැවැත්ම මේ හේතුවෙන් විනාශ වීමේ අවධානමක් මතුව ඇති බවද සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.‍
මේ වනවිට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් විසින් ජනාධිපති කාර්යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඌව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය ඇතුළු ආයතන 26කට දැනුම් දී ඇතත් මෙම ගෝල්ෆ් ව්‍යාපෘතිය හරහා සිදුවන පරිසර ව්‍යාපෘතිය වැළැක්වීමට කිසිවෙකු පියවර ගෙන නැතැයිද ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

දහස් ගණන් ගොවි ජනතාවගේ ජීවිත මහමඟට ඇද දමමින් විදේශිකයන් වෙනුවෙන් ගෝල්ෆ් ක්‍රීඩා පිටි ඉදිකිරීම කෙ‍තරම් අසාධාරණද යන්න වටහාගත හැක්කේ බත්කන මිනිසුන්ටම පමණක් බවද සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Source : lankatruth

No comments:

Post a Comment