Wednesday, January 2, 2013

මහවැලියේ චක්‍ර‍ලේඛයක් වන සංහාරයකට මුලපුරයි


වන සංරක්ෂණ ආඥාපනතේ වන බලතල හා නීති ඉක්මවා යන සේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා, සිය නිලධාරීන්ට නිකුත් කළ චක්‍ර‍ලේඛයක් නිසා රට තුළ මහා පරිමාණ වන විනාශයකට පාර කැපෙන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානය අවධාරණය කරයි. මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රාජකරුණා මහතාගේ අත්සනින් යුතුව 2012.11.01. දින අංක3/2012 (ඉඩම්) දරන මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර ඇත. නව චක්‍ර‍ලේඛය මගින් හඳුන්වා දී ඇති නීති ක්‍රියාත්මක කරන ලෙස මහවැලි නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නව චක්‍ර‍ලේඛය මගින් කැලෑවල නොකළ යුතු ක්‍රියාවලට අවසර දීමේ බලය මහවැලි නිලධාරීන් ලබාදී ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි.

දියපහරවල් අවහිර කිරීම, ජලයට විෂ යෙදීම, වනයට කැළිකසළ බැහැර කිරීම, වන පරිසරය අපවිත්‍ර කිරීම, පතල් හෑරීම, පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම. දඩයම් කිරීම, වෙඩි තැබිම්, කැලෑ එළි කිරීම්, උගුල් ඇටවීම්, වනයක් අනතුරකට ලක්වන ආකාරයට ගිනිතැබිම ආදී ක්‍රියාවන්ට මෙම චක්‍ර‍ලේඛය මගින් අවසර දිය හැකි බව දක්වා ඇතැයි වනසම්පත සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානයේ ‍ලේකම් ලලිත් ගමගේ මහතා පැවසීය.

චක්‍ර‍ලේඛයේ සඳහන් තවත් විධි විධානයන් මගින් රජයේ කැලෑවන්ගෙන් වනජ ද්‍රව්‍ය නිකුත් කිරීම සඳහා ගාස්තු අය කිරීම 1981.05.28. දිනැති අංක 143 දරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි විය යුතු යැයි දක්වා තිබුණද එය 2003 අංක 1303/1 දරන ගැසට් නිවේදනයකින් අහෝසි කරනු ලැබූවක් බවද ගමගේ මහතා පෙන්වා දුන්නේය.

එම ගැසට් නිවේදනයට අනුව කටයුතු කළහොත්, වනජ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී විශාල මූල්‍යමය අලාභයක් රජයට වන බවත්, අනෙකුත් ආයතන අයකරන ගාස්තුව හා සැලකීමේදී බලවත් ව්‍යාකූලතාවක් මතු කරන බවත්, වෘත්තීය සංවිධානය අවධාරණය කරයි.

තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වී වහාම පියවර ගන්නා ලෙස ඉල්ලමින් වනසම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානය විසින් පරිසර අමාත්‍යවරයාට සහ වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍යවරයාට ලිපි ද යොමු කර තිබේ.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර/ගයාත්‍රී ගීගනආරච්චි

http://lakbima.lk/index.php?option=com_content&view=article&id=5734%3A2013-01-02-02-54-43&catid=34%3Anews&Itemid=62

No comments:

Post a Comment