Monday, April 30, 2012

පානදුර මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව ගිලුණොත් අනතුරක්‌ අත ළඟ

පානදුර මුහුදු තීරයේ වසර හතරක පහක සිට නැංගුරම්ලා තිබෙන ඉන්ධන මෙටි්‍රක්‌ ටොන් තුන්සිය පනහකට අධික දැවි තෙල් සහිත භාණ්‌ඩ ප්‍රවාහන නෞකාව පෙරළී යැමේ අවදානම බරපතළ ලෙස වැඩි වී ඇතැයි පරිසර ආරක්‍ෂණ අධිකාරිය "දිවයින" ට පැවසීය. මෙම භාණ්‌ඩ ප්‍රවාහන නෞකාව අංශක හතරකින් වම්පසට ඇලවී ඇතැයි කලින් වාර්තා වී තිබිණි. එම ඇලවීම දිනෙන් දින වර්ධනය වන බව ද පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කරයි.
මෙම නෞකාවේ දැවිතෙල් මෙටි්‍රක්‌ ටොන් 350 ට අමතරව යකඩ පයිප්ප ඇතුළු ටොන් විසිදහසකට ආසන්න භාණ්‌ඩ ද ඇතැයි සඳහන්ය. ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක්‌ නිකුත් කර තිබෙන සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී රියර් අද්මිරාල් එස්‌. ආර්. සමරතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ අදාළ නෞකාවේ ඇති දැවි තෙල් මෙටි්‍රක්‌ ටොන් 350 කට අධික ප්‍රමාණය සමුද්‍ර පරිසරයට කාන්දුවිය හැකි බවයි. එමගින් මෙරට දැවන්ත සමුද්‍ර හා වෙරාළාසන්න පරිසර හානියක්‌ සිදුවිය හැකි බව පවැසේ. මේ පිළිබඳව නොවැම්බර් මාසයේ සිටම එම අධිකාරිය විසින් අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත්තේය. කෙසේ නමුත් අනෙකුත් පාර්ශ්වවලින් සිදු සිදු කළ අභියාචනාවලට අනුව අධිකරණයට පැහැදිලි තීන්දුවක්‌ ගැනීමට අපහසු වී තිබිණි. සමුද්‍ර ආරක්‌ෂණ අධිකාරිය විසින් අදාළ තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය විසින් යළිත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. ඒ අනුව නෞකාවේ භාණ්‌ඩ ගබඩාකර නෞකාව වෙන්දේසි කිරීමට අවශ්‍ය පියවර ගන්නයි වානිජ මහාධිකරණය පසුගිය 25 වැනිදා නියෝග කරන ලදී. මේ අතර නාවික හමුදාවේ සහාය සහිතව නෞකාව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එහි ඇතැම් කොටස්‌ දිරාපත්ව තිබෙන බවත් ඉදිරි මෝසම් කාලගුණයට පෙර නැව ඉවත් නොකළහොත් දැඩි අවදානම්කාරී තත්ත්වයක්‌ හටගත හැකි බවත් අනාවරණය විය. 2008 - සමුද්‍ර දූෂණ වැළැක්‌වීමේ අංක 35, දරණ පණත යටතේ මෙම නෞකාව පානදුර මුහුදු තීරයේ අදාළ ස්‌ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය අවසරය අධිකරණයෙන් ලබා ගැනීමට සමුද්‍රයීය පරිසර ආරක්‌ෂණ අධිකාරියට හැකිවී තිබේ. එහි සාමාන්‍යාධිකාරිවරයා පැවැසුවේ පසුගිය නොවැම්බරයේ සිට මේ දක්‌වාම නෞකාව පිළිබඳව තම අධිකාරිය නිරන්තරව අවධානයෙන් පසුවූ බවත්. ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයට ගෙන ගොස්‌ එහි ඇති භාණ්‌ඩ තොගය ඉවත්කර ඉදිරි පියවර ගැනීම වඩාත් පරිසරයට හිතකර වනු ඇති බවත්ය. පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් අදාළ නඩු තීන්දුව ලැබුණු වහාම උද්ගතව ඇති අවදානම් තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් වැඩබලන වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත්බන්දු වික්‍රම සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් සෝමතිලක දිසානායක යන මහත්වරුන්ව දැනුවත් කරමින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන කටයුතු කරන ලෙස දැනුම් දුන් බව පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ජී. එස්‌. එම්. කැලුම් ගුණතිලක මහතා "දිවයින" ට පැවැසීය. http://www.divaina.com/2012/04/30/news01.html

No comments:

Post a Comment